Sinhala Page

තෙල් නොදා හින්දන පරිප්පු කරිය ..

අපි හැමෝම පුංචි කාලේ ඉඳලම පරිප්පු ආහාරයට ගන්න පුරුදු වෙනවා . නමුත් ,ඇයි හැමදාම පරිප්පු බත් එකට එකතු වෙන්නේ කියල නම් එකල අපිට අවබෝධයක්  තිබුනේ නැහැ .අම්මා දෙන නිසා කනවා වුනත් සමහර දාට ,පරිප්පු  කන්න මැලි වෙනකොට මේ වචන ටික නම් ඔයාලටත් ඇහිලා ඇති. "ඇයි දරුවෝ මෙච්චර ගුණ කෑම කන්න බැහැ කියන්නේ " .අද මම මේ ලිපියෙන් ඔයාල එක්ක බෙදාගන්න උත්සහ කරන්නේ ඇයි අපි ධාන්‍ය වර්ග අපේ කෑම වේලට එකතු කරගත යුත්තේ කියලයි .

ධාන්‍ය වර්ග ප්‍රධාන ලෙසම ආහාරයට එකතු කරගන්න රටක් විදියට ඉන්දියාව හඳුන්වනවා . ඒකට, ප්‍රධානතම හේතුව තමයි ඉන්දියාවේ මස් ,මාළු ආහාරයට නොගෙන එළවලු පමණක් ආහාරයට ගන්න පිරිස ලංකාවට වඩා වැඩිවීම .මස් ,මාළු ,බිත්තර වලින් ලබාගන්න ප්‍රෝටීන් ප්‍රමාණය ඉන්දියානුවන් ධාන්‍ය වර්ග වලින් ලබාගන්නවා . ඒ නිසාම ලංකාවේ අපිට වඩා ඉන්දියාවේ මුළුතැන් ගෙවල් වල විශාල වශයෙන් විවිධ පරිප්පු වර්ග ගබඩා කරලා තියාගන්න එයාල නිතර සැළකිලිමත් වෙනවා . 

දැන් ,පරිප්පු වර්ග ( ධාන්‍ය වර්ග ) ආහාරයට ගැනීමෙන් අපිට ලැබෙන වාසි ගැන ටිකක් කථාකරමු.

1) මේ වෙනකොට ලෝකයේ ආහාර සම්බන්ධව පරීක්ෂණ කරන අය විසින් දැනට හොයාගෙන තියෙනවා මස් ,බිත්තර අහාරයට ගන්න පිරිසට වඩා ධාන්‍ය වර්ග සහ එළවලු පමණක් ආහාරයට ගන්න පිරිසගේ ආයුෂ ( නිරෝගී බව ) වැඩියි කියලා .ඒකට ප්‍රධානම හේතුව තමයි ,දැන් වෙළඳපොළේ විකුණන මස් ,බිත්තර වල කෘතීම හෝර්මෝන අඩංගු වීම . ඒ කියන්නේ මෙවැනි සත්වයන්ගේ ඉක්මන් වර්ධනයක් සඳහා හෝර්මෝන පිටතින් ලබාදීම.ඒ නිසා මස් ,බිත්තර වලින් එකතු කරගන්න ප්‍රෝටීන් ප්‍රමාණයට වඩා  ධාන්‍ය වර්ග වලින් ප්‍රෝටීන් වැඩි වශයෙන් එකතු කරගන්න අපිත් උනන්දු වෙන්න ඕනේ .

2) කොලෙස්ටරෝල් අඩු කරගන්නත් ධාන්‍ය වර්ග උදවු වෙනවා . මේ ධාන්‍ය වර්ග වල Soluble fiber (සොලියබල් ෆයිබර් ) ඉතා ඉහල අගයක පවතින නිසා නරක කොලෙස්ටරෝල් අඩු කරගන්න උදවු වෙනවා .නරක කොලෙස්ටරෝල් අඩු වෙනකොට හදවත් රෝග වැළඳීමේ සම්භාවිතාවය ස්වාභාවයෙන්ම අඩු වෙනවා .

3)(2) කරුණෙන් පැහැදිලි කළා කොලෙස්ටරෝල් අඩුවෙනකොට හදවත් රෝග අඩු වෙනවා කියලා .දැන් හදවත් රෝග අඩුවෙන්නේ කොහොමද කියලා තුන්වන කරුණ විදියට දැනගනිමු .ධාන්‍ය වර්ග වල ඉතා ඉහල ෆයිබර් ප්‍රමාණයක් අඩංගු වෙනවා .ඊට අමතරව ඉතා හොඳ අගයක ෆෝලේට් (Folate) සහ මැග්නීසියම් (Magnesium )ප්‍රමාණයක් අඩංගු වෙනවා .මේ මැග්නීසියම් සහ ෆෝලේට් නිරෝගී හදවතක් පවත්වා ගන්න උදවු වෙනවා . ෆෝලේට් හෝමොසිස්ටීන් ලෙවල් Homocysteine level
( ශරීරයේ හැදෙන ඇමීනෝ ඇසිඩ් )එක අඩු කරනවා .හෝමොසිස්ටීන් කියන මේ ඇමීනෝ ඇසිඩ්  එක සෘජුවම හදවත් රෝග වලට බලපානවා .මැග්නීසියම් රුධිර සරණිය ,ඔක්ෂිජන් සහ ආහාර වල පෝෂණය ශරීරය පුරාවටම හොඳින් පවත්වා ගන්න උදවු වෙනවා . මැග්නීසියම් හිඟබව  සෘජුවම හදවත් රෝග වලට බලපාන අනිත් කරුණ වෙනවා .ඒ නිසා නිතර අපේ ආහාර වේලට ධාන්‍ය වර්ගයක් එකතු කරගැනීමෙන් මේ අත්‍යාවශ්‍ය මැග්නීසියම් ,ෆෝලේට් සහ ෆයිබර් ලබාගන්න පුළුවන් වෙනවා . 

4)ආහාර ජීර්ණය නිරෝගී කරනවා . ඒ කියන්නේ මේ ධාන්‍ය වර්ග වල ඉන්සොලියබල් ෆයිබර්  Insoluble fiber ) අඩංගු වෙනවා .මේ ඉන්සොලියබල් ෆයිබර් මලබද්දය වගේම ආහාර ජීර්ණ පද්ධතියේ ඇතිවෙන විවිධ රෝගී තත්වයන් ( Irritable bowl syndrome , diverticulosis) අඩු කරන්න උදවු වෙනවා .

5) ධාන්‍ය වර්ග ආහාරයට ගන්න කොට රුධිරයේ අඩංගු සීනි මට්ටම අඩු වැඩි නොවී සමබර කරගන්න පුළුවන් වෙනවා .ඒ කියන්නේ ධාන්‍ය වර්ග වල අඩංගු ෆයිබර් ,සොලියබල් ෆයිබර් ආහාර ජීර්ණය හෙමින් සිදුවෙන්න උදවු වෙන අතරම රුධිරයේ අඩංගු සීනි මට්ටම නියත වශයෙන් පවත්වා ගන්න උදවු වෙනවා . ආහාර ජීර්ණය සීඝ්‍රයෙන් වෙනකොට ඒ ආහාර වල අඩංගු කාබෝහයිඩ්‍රේට්  ඒ කියන්නේ සීනි ඉක්මනින්ම රුධිරයට උරාගැනීමක් වෙන නිසා රුධිරගත සීනි ප්‍රමාණය ඉහල යනවා . ඒ නිසා මේ ධාන්‍ය වර්ග දියවැඩියා රෝගීන්ට ,ඉන්සියුලින්  වැඩි වෙන අයට (Insulin resistance ) සහ  ඉන්සියුලින් අඩු වෙන අයට( Hypoglycemia )ඉතාමත්ම හොඳ ආහාරයක් .

6)ධාන්‍ය වර්ග වල ඉතා හොඳ ප්‍රෝටීන් ප්‍රමාණයක් අඩංගු වෙනවා . මේ ධාන්‍ය වර්ග වල අඩංගු ප්‍රෝටීන් ප්‍රමාණය නට්ස් වල අඩංගු ප්‍රෝටීන් ප්‍රමාණයට බොහෝ සෙයින් සමානයි .

7)ධාන්‍ය වර්ග ආහාරයට ගැනීමෙන් බර අඩු කරන්න පුළුවන් වෙනවා . ඒ කියන්නේ මේ ධාන්‍ය වර්ග වල ෆයිබර් ,ප්‍රෝටීන් ,මිනරල්ස් ,විටමින්ස් සැලකිය යුතු හොඳ මට්ටමක තියෙනවා වගේම කැලරි අඩු මට්ටමක සහ මේදය  අඩංගු නැතිම තරම්.කැලරි සහ මේදය කියන්නේ බර වැඩි කරන ප්‍රධාන සාධක දෙකක් . ඒ නිසා ,බර නියතව තියාගන්න මේ ධාන්‍ය වර්ග වැඩි වශයෙන් අහාරයට එකතු කරගැනීම සුදුසුයි . 

ඉතිං‍ , අපි හැමෝම ප්‍රධාන ආහාර  වේල් තුනට අමතරව පැණිරස ආහාර ,තෙල් අධික ආහාර නිරන්තරයෙන්ම කෑමට ගන්නවා . ඒ නිසා ,මේ ධාන්‍ය වර්ග වල අඩංගු ගුණය  හොඳින් අවබෝධ කරගෙන ප්‍රධාන ආහාර වේල් තුනෙන් ,එක වේලකට හෝ ගුණයෙන් සපිරි ආකාරයට එකතු කරගන්නවා නම් ගොඩාක් ලෙඩ රෝග අපි හැමෝටම අඩු කරගන්න පුළුවන්  . 

No comments:

Post a Comment

Sri Lankan Tea Buns スリランカのティーパン ( レーズンパン) These traditional sweet tea buns, known as tea ...

Mos Viewed